Local Language Technical Help Centre
Search

සිංහල පිටපතෙහි විකාශනය

සිංහල පිටපතෙහි විකාශනය

හර්ෂ විජයවර්ධන B.Sc., FBCS

ප්‍රදාන මෙහෙයුම් නිලධාරී Theekshana R & D

මේ සඳහා ලංකා වසම් අධිකාරිය අනුග්‍රාහකත්වය දක්වන ලදී.

සිංහල අක්ෂර බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් විකාශනය වූ අතර, එම බ්‍රාහ්මී අක්ෂර  උතුරු සහ දකුණු ඉන්දියානු අක්ෂර සියල්ලගේම පාහේ මුලරම්භයටද හේතු විය. පැරණි සම්ප්‍රදායට අනුව, බ්‍රාහ්මී, උතුරු සහ දකුණු වශයෙන් උප කාණ්ඩ දෙකකට වර්ග කර ඇත.  සිංහල  කථන භාෂාවේ මූලාරම්භය උතුරු ඉන්දියානු සම්භවයක් සහිත වුවද, සිංහල අක්ෂර දකුණු බ්‍රාහ්මී සම්ප්‍රදායෙන් උපුටා ගන්නා ලද්දකි. දෙමළ භාෂාව දකුණු බ්‍රාහ්මී අක්ෂරයෙන් බිහි  විය. කන්නඩ, තෙළිඟු, මලයාලම් භාෂා, ද්‍රවිඩ භාෂා ලෙස වර්ගීකරණය කර ඇති අතර, සිංහල භාෂාව ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයත් වෙයි. සිංහල සමඟ හින්දි, ගුජරාටි, මරාති, බෙංගාලි ආදී උතුරු ඉන්දියානු භාෂා සියල්ලම පාහේ  ඉන්දු-යුරෝපීය භාෂා කාණ්ඩයේ ඉන්දු-ආර්ය උප සමූහයට අයත් වේ. ක්‍රිස්තු පූර්ව 3 සිට ක්‍රිස්තු වර්ෂ 2 දක්වා පාෂාණ සෙල්ලිපි ලිවීම සඳහා බ්‍රාහ්මීය අක්ෂර ශ්‍රී ලංකාවේ භාවිතා කර ඇති අතර, පුරාණ සුසාන භූමිවල තිබී හමු වූ මැටි බඳුන් වලින් ලැබෙන කාබන් කාල නිර්ණය කිරීමේ පර්යේෂණයෙන් ලද සාක්ෂි අනුව, බ්‍රාහ්මීය අක්ෂර  විජය රජු පැමිණීමට අවුරුදු අටසියයකට පෙර තිබූ බවට සාක්ෂි හමු වී ඇත. සිංහල බ්‍රාහ්මී අක්ෂර වලට සමාන්තරව අනුරාධපුර යුගයේදී දමිළ බ්‍රාහ්මී සෙල්ලිපි සොයාගෙන තිබේ.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ශ්‍රී ලංකාවේ හමුවන බ්‍රාහ්මීය අක්ෂර, ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යාගේ කාලයේ හමුවන අක්ෂර වලට වඩා යම්යම් වෙනස්කම් දැක්වුවද වැඩි වශයෙන් සමානකම් පවතී. ශ්‍රී ලංකාවේ  ක්‍රිස්තු පූර්ව 3 සහ 2 ට අයත් වන බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා ඇති සෙල්ලිපි 12 ක්, දකුණේ සිට වමට ලියා ඇති බව නිරීක්ෂණය කර ඇත.

පල්ලව ග්‍රන්ථ අක්ෂර සහ නැගෙනහිර ආසියානු අක්ෂර

ක්‍රිස්තු වර්ෂ පලවන සියවසේ සිට සිංහල අක්ෂර බ්‍රාහ්මී අක්ෂර වලින් පරිණාමය වීමට පටන් ගත් අතර සිගිරි යුගය වන විට සිංහල අක්ෂර සඳහා නව අක්ෂර දෙකක් එකතු වී ඇත. ඒවා ‘ඇ’ සහ ‘ඈ’ වන අතර එය අනෙක් ඉන්දියානු භාෂාවලින් සොයාගත නොහැක. සිංහල අක්ෂර පළමු වන ශතවර්ෂයේ මුල් භාගයේ සිට වටකුරු වීමට පටන් ගත් අතර, එය පුස්කොල පත්ඉරු ලිවීමට භාවිතා කිරීමේ සාක්ෂියක් වෙයි. සිව්වන ශතවර්ෂයේ දී, සිංහල අක්ෂර පල්ලව ග්‍රන්ථ වල බලපෑමට යටත් වූ අතර, එම පල්ලව ග්‍රන්ථ නැගෙනහිර ආසියානු අක්ෂර වන කාම්බෝජියානු අක්ෂර (Khmer), ඉපැරණි මැලේ අක්ෂර සහ ජාවා අක්ෂර වලටද බලපෑම් කරන ලදී. මේ සඳහා හේතු වුයේ වෙළඳාම හරහා පල්ලව රාජධානිය සමඟ මෙම රටවල් අතර ඇති සමීප සම්බන්ධතාවයයි. පසුව, කාම්බෝජියානු අක්ෂර (Khmer) වර්තමාන තායි පිටපත බිහි වීමට හේතු විය. තායි පිටපත සංවර්ධනය කිරීමේ දී ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන්නට ඇතැයිද අනුමාන කෙරේ. නැගෙනහිර ආසියානු අක්ෂර වලද ‘ඇ’ සහ ‘ඈ’ සඳහා අක්ෂර හැඩතල ඇති බව දක්නට ලැබේ. ‘ඇ’ සහ ‘ඈ’ සඳහා මෙම හැඩතල තිබීම පල්ලව රාජධානියේ අභාවයෙන් පසු නැගෙනහිර ආසියානු අක්ෂර වර්ධනය කිරීමේදී, සිංහල අක්ෂර වලට ඇති සම්බන්ධය පිළිබඳ ඉඟියක් සපයයි. රුප සටහන 1 මගින් කාම්බෝජියානු අක්ෂර(Khmer) දක්වා ඇත.

රුප සටහන 1: කාම්බෝජියානු අක්ෂර (Khmer)

යුනිකේත යනු අක්ෂර මාලාවක් නොව කේතන ක්‍රමයක් පමණි

මා විසින් මීට පෙර ලියන ලද ලිපි වල, යුනිකේත ප්‍රධාන සංකල්ප හඳුන්වා දී ඇති අතර, එහිදී යුනිකේත වල සෑම අක්ෂරයක්ම බයිට් දෙකක කේත ලක්ෂ්‍යයකින් කේතනය කර ඇති බවට දක්වා ඇත. යුනිකේත ක්‍රමය තුල 3456 සට 3583 (0D80–0DFF) අතර පරාසය සිංහල අකුරු නිරුපණය සඳහා යොදා ගැනෙයි. සිංහල යුනිකේත පිළිබඳ මගේ ලිපිවල සඳහන් කළ පරිදි, සිංහල යුනිකේතයන් භාවිතා කල විට එකම පිටපතක භාෂා සමුහයක අක්ෂර එකට ගබඩා කිරීමට හැකි වනු ඇත. එම නිසා අද අපට සිංහල, ඉංග්‍රීසි සහ දමිල අක්ෂර මිශ්‍ර කර එකම පිටපතක ලිවීමට හැකිය.

යුනිකේත සම්මතය පිලිබඳ වැරදි වැටහීමක් ලාංකිකයන් අතර ඇති වී තිබෙන බව පෙනෙයි. මෙහි තිබෙන වැරදි අදහස වනුයේ, යුනිකේත යනු ඩිජිටල් හෝඩියක් ලෙස පිළිගනිමින් පැවතීමයි. යුනිකේත යනු ඩිජිටල් හෝඩියක් නොව, එය කේත ක්‍රමයක් වන අතර එහි ප්‍රධාන පරමාර්ථය වන්නේ අක්ෂර මාලාවක ඇති අක්ෂර හෙක්සැඩිසිමල් අංකයකට සිතියම් ගත කිරීමයි. එනම්, යුනිකෝඩ් ප්‍රස්ථාර වල එම අක්ෂර ඩිජිටල් උපකරණයක මතක ස්ථානයක ගබඩා කර පසුව ලබා ගැනීමට සහ භාවිතය සඳහා ගත හැකිය.