Local Language Technical Help Centre

සම්පත් දායකයින්

අපගේ සම්පත් දායකයින්

1) මහාචාර්ය ගිහාන් ඩයස්

Prof_Gihan_Dias

මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ශ්‍රී ලංකාවේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යා උපාධිය සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් (ඩේවිස්) ආචාර්ය උපාධියද ලබා ගෙන ඇත. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයේ (CSE) මහාචාර්යවරයෙකි. මහාචාර්ය ගිහාන් ඩයස් මහතා විසින් .lk වසම් පිහිටවූ අතර, ඔහු ලංකා වසම් අධිකාරියෙහි (LKNIC) හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ වන අතර 1990 වසරේ සිටම ශ්‍රී ලංකාවේ ccTLD කළමනාකරණයේ ඉදිරියෙන්ම සිටී.

මහාචාර්ය ගිහාන් ඩයස් මහතා Lanka Educational and Research Network (LEARN) පිහිටුවීමේ සහ පවත්වාගෙන යාමේ පුරෝගාමියෙකු වූ අතර, ලාභ නොලබන, ස්වේච්ඡා සංවිධානයක් වන Lanka Academic Network (LacNet) හි නිර්මාතෘ සහ පළමු සභාපතිවරයාද විය. ඔහු අන්තර්ජාල සේවා සපයන්නන් ගණනාවකට ඔවුන්ගේම සේවා සපයන ජාල පිහිටුවීමට ද සහාය වී ඇත.

2003 සහ 2004 වසර වලදී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු වූ අතර, එය ශ්‍රී ලංකාව තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනය කිරීමට මුල්වී කටයුතු කරන ඉහළම රාජ්‍ය ආයතනයකි. ICTA ආයතනයේදී ඔහු දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT) භාවිතා කිරීමේ වැඩසටහනට නායකත්වය දුන් අතර, යුනිකේත අනුකූල අකුරු සංවර්ධනය කිරීම සඳහාද කටයුතු කළ අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් SLS 1134 : 2004 ලෙස ප්‍රමිතිගත කරන ලද ICT සිංහල ප්‍රමිති කෙටුම්පත සකස් කළේය. එමෙන්ම  SLSI හි ICT පිළිබඳ ආංශික කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. ICTA ආයතනයේ සිටියදී ඔහු අකුරු සංවර්ධකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සඳහා යුනිකේත ප්‍රමිතිය පිළිබඳ පුළුල් දැනුවත් කිරීම් සහ දැනුම සංවර්ධනය කිරීමේ වැඩසටහන් සංවිධානය කළේය. තවද මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, ICTA හි IDN කාර්ය සාධක බලකායේ සභාපතිත්වය ද දරනු ලැබූ අතර අන්තර්ජාල සංගමයේ ශ්‍රී ලංකා අංශයේ හිටපු සභාපතිවරයෙකි. 2013 දී, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය සංවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් අන්තර්ජාල හෝල් ඔෆ් ෆේම්(Internet Hall of Fame) වෙත ඇතුළත් විය.

2) අරුණි ගුණතිලක මහත්මිය

Aruni_Gunathilaka

අරුණි ගුණතිලක මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) MBA උපාධියද ලබා ඇත. අරුණි ගුණතිලක මහත්මිය 2003 වසරේ සිට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA )ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනියක වූවාය.  ඇය සිංහල සහ දෙමළ භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය සක්‍රීය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. තවද ඇය විසින්, ශ්‍රී ලංකා CERT පිහිටුවීමේ ව්‍යාපෘතිය ඇතුළු තොරතුරු ආරක්ෂණ ක්ෂේත්‍රය යටතේ ව්‍යාපෘති කළමනාකරණය කර ඇත. ඇය රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීමට ද සම්බන්ධ වූවාය. ICTA හා සම්බන්ධ වීමට පෙර ඇය තොරතුරු තාක්ෂණ කවුන්සිලයේ සේවය කර ඇති අතර එහිදී ඇය අන්තර්ජාල කමිටුව, නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුව සහ EDI කමිටුවේ කටයුතු සම්බන්ධීකරණය කර ඇති අතර ඇය ICT ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයට ද සම්බන්ධ වූවාය.

3) හර්ෂ විජයවර්ධන මහතා

Harsha_W

හර්ෂ විජයවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි විශ්ව විද්‍යාලයෙන් ජෛව රසායනය සහ රසායන විද්‍යාව පිළිබඳවත් සහ ගණිතය පිළිබඳවත් විද්‍යාවේදී උපාධිය ලබා ඇති අතර බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ (FBCS, CITP) වරලත් සාමාජිකයෙකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අංශයේ  වසර විස්සකට වැඩි පළපුරුද්දක් ඇති හර්ෂ විජයවර්ධන මහතා එම අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.

හර්ෂ විජයවර්ධන මහතා රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතිවලට සම්බන්ධ වී කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති පර්යේෂණ තොරතුරු ඒකකය (PRIU) වැනි රාජ්‍ය ආයතන වල ජාල සැලසුම් කර ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම හර්ෂ විජයවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ මෘදුකාංග සංවර්ධන ඒකකය (SDU) පිහිටුවීමේ වගකීම දැරූ අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනය (UCSC) හා සම්බන්ධ සමාගමක් වන තීක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයෙහි (Theekshana R&D) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙන්ම ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලෙසද කරයුතු කරනු ලබයි. තවද හර්ෂ විජයවර්ධන මහතා විසින්, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පිහිටුවා ඇති උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය සහ නිවාස හිමියන්ගේ ලැයිස්තුව ලබා ගැනීමේ පද්ධතිය, ශ්‍රී ලංකා පොලිසිය සඳහා ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ පද්ධතිය (AFIS) වැනි ජාතික මට්ටමේ ප්‍රධාන මෘදුකාංග ව්‍යාපෘති සංවර්ධනයට අවශ්‍ය  මගපෙන්වීම සහ දැනුම ලබාදී  ඇත. එමෙන්ම, මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව රජයේ ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන පද්ධතිය (eGP) සංවර්ධනය කිරීමට ද හර්ෂ විජයවර්ධන මහතා සම්බන්ධ වී කටයුතු කරයි.

හර්ෂ විජයවර්ධන මහතා 2014 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL), තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස පත් කරන ලදී. ඔහු 2010 සිට 2015 දක්වා ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් (LGII) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය. එමෙන්ම හර්ෂ විජයවර්ධන මහතා nic.lk (ලංකා වසම් අධිකාරිය) ආරම්භයේ සිටම එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. තවද, ඒ මහතා ISOC LK හි ආරම්භක සභාපතිවරයාද වන අතර, ICANN හි සිංහල අනුමණ්ඩලයේ සම සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

හර්ෂ විජයවර්ධන මහතා 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුරෝගාමියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, Lanka Educational and Research Network (LEARN) විසින් එහි තිස් අවුරුදු සැමරුම් උළෙලේදී එහි ආරම්භක සාමාජිකයින් හත් දෙනාගෙන් කෙනෙකු ලෙසද ඒ මහතා ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම හර්ෂ විජයවර්ධන මහතා විසින් විද්‍යාත්මක පත්‍රිකා කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති අතර විද්‍යාත්මක පොත් කිහිපයක් ද රචනා කර ඇත.

4) ආචාර්ය රුවන් වීරසිංහ
Dr.Ruvan

ආචාර්ය රුවන් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය සහ සංඛ්‍යාලේඛන පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගෙන ඇත. ඉන්පසුව එක්සත් රාජධානියේ පශ්චාත් උපාධි අධ්‍යයනය ලබා ඇති ඒ මහතා තොරතුරු තාක්ෂණ හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට පිවිසියේය. එතැන් පටන් ආචාර්ය රුවන් වීරසිංහ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ පැතිවලට සම්බන්ධ වී කටයුතු කර ඇත.

ආචාර්ය රුවන් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වාදීම සඳහා මූලික වූ පුරෝගාමී ආයතනවල, එනම් Lanka Educational and Research Network (LEARN) සහ 2003 වන තෙක් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පිළිබඳ ඉහළම ආයතනය වූ තොරතුරු තාක්ෂණ කවුන්සිලයේ (CINTEC) අන්තර්ජාල කමිටුව හරහාද ප්‍රධාන කාර්ය භාරයක් සිදු කර ඇත. එමෙන්ම ආචාර්ය රුවන් වීරසිංහ මහතා 1996 සිට 2000 දක්වා සංවර්ධනය වෙමින් පවතින රටවල අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයින් පුහුණු කිරීමේ නිරතවී සිටි අන්තර්ජාල සංගමයේ උපදේශකවරයෙකු ලෙස ද සේවය කළේය. තවද ඒ මහතා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කරන ලද e-Sri Lanka සංවර්ධන වැඩසටහනේ බොහෝ අංශවලට ද සම්බන්ධ වී කටයුතු කර ඇති අතර ICTA හි දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.