Local Language Technical Help Centre

දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම

දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම යනු කුමක්ද?
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම(LLWG) නැවත සමූහගත කිරීම – හැඳින්වීම

 

තෙවසරක   දිගු විරාමයකින් පසු, දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම(LLWG) 2021 ඔක්තෝම්බර් 28 වැනි දින රැස්විය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), එහි අනුග්‍රහය යටතේ දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම නැවත කණ්ඩායම්ගත කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. පසුගිය රජයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතා අවසන් වරට මෙහි මුලසුන දැරුවේය. . දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම වසර පහළොවකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ දේශීය භාෂා සංවර්ධනයේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු මෙහෙයවීය.

දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමෙහි මූලාරම්භය අනූව දශකයේ අග භාගයේ CINTEC හි අන්තර්ජාල කමිටුව දක්වා ඈතට දිව යයි. දිවංගත මහාචාර්ය වී.කේ. සමරනායක මහතා CINTEC හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීම අන්තර්ජාල කමිටුවේ මුලික අරමුණක් විය. 1995 මැද භාගයේදී අන්තර්ජාලය ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාරික වශයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ අතර, 1998 වන විට අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය පුළුල් කිරීමට අන්තර්ජාල කමිටුව උනන්දු වී කටයුතු කරන ලදී.

දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමෙහි ඉතිහාසය

එවකට අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතයේ වර්ධනය මන්දගාමීව පවතින්නේ ඇයිද යන ප්‍රශ්නය අන්තර්ජාල කමිටු සාමාජිකයන් අතර මතුවිය. අන්තර්ජාල කමිටුවට මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය රුවන් වීරසිංහ සහ දැනට යුනිකේත සංවර්ධන සහ පර්යේෂණ කටයුතු වල ක්‍රියාකාරීව නිරත වී සිටින හර්ෂ විජයවර්ධන මහතා ඇතුළත් විය.එම සාකච්ඡා වලින් අනතුරුව, කමිටුව නිගමනය කළේ අන්තර්ජාලයේ සිංහල සහ දෙමළ අන්තර්ගතය වැඩි වීම සිංහල සහ දෙමළ යුනිකේත සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ගැටළු නිරාකරණය කිරීමෙන් සෘජුවම විසඳිය හැකි බවයි. CINTEC හි අන්තර්ජාල කමිටුව විසින් අනුකමිටුවක් පිහිටුවීමට තීරණය කරන ලද අතර, සාමාජිකයින් විසින් එය CINTEC හි අන්තර්ජාල කමිටුවේ ෆොන්ට් අනු කමිටුව (Font Sub Committee) ලෙස නම් කරන ලදී. ලෝක බැංකුවේ අරමුදල් සහිත e-Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පිහිටුවන විට, අන්තර්ජාල කමිටුවේ ෆොන්ට් අනු කමිටුව, ICTA හි දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම (LLWG) බවට පරිවර්තනය විය.

SLS 1134 දෙවන සංශෝධනය සහ SLS 1326 කෙටුම්පත් කිරීම

CINTEC විසින් සිංහල යුනිකේත සංකේතනය කිරීමට පුරෝගාමී පියවර ගනු ලැබූ අතර, සිංහල ආදාන ක්‍රමය සහ ස්ථීර මතකයේ ගබඩා කිරීමේ අනුපිළිවෙල තවදුරටත් ප්‍රමිතිකරණය කිරීමට අවශ්‍ය බව CINTEC හි අන්තර්ජාල කමිටුව මඟින් තීරණය කරන ලදී. අන්තර්ජාල කමිටුවේ ෆොන්ට් අනු කමිටුව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් SLS 1134 හි දෙවන සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පිහිටුවන ලද අතර එය පසුව SLS 1134:2004 බවට පත් විය. SLS 1134 දෙවන සංශෝධනය මඟින් සෑම යුනිකේත කේත ලක්ෂ්‍යයක්ම, ස්ථීර මතකයේ අභ්‍යන්තරව ගබඩා වන ආකාරය ප්‍රමිතිගත කර ඇත. එසේම, මෙම දෙවන සංශෝධනය මගින් විජේසේකර යතුරුපුවරුව සම්මත කර ප්‍රමිතිගත කරන ලදී. එය පළමුව සිංහල යතුරු ලියන වල භාවිතා කිරීම සඳහා නිර්මාණය කරන ලදී . පසුව එය ඩිජිටල් උපාංගවල සිංහල ආදානය සඳහා භාවිතා කරන පෙරනිමි යතුරුපුවරුව ලෙස සංවර්ධනය කරන ලදී. ICTA ආයතනය CINTEC වෙතින්, ශ්‍රී ලංකාව තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංචලනයේ නායකත්වය ලබා ගත් හෙයින්, සිංහල සහ දෙමළ යුනිකේත සංවර්ධනයේ වගකීම අලුතින් පිහිටුවන ලද දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම වෙත පැවරුණි.

ඉන්දීය රජය විසින් ප්‍රමිතිගත කරන ලද දමිළ භාෂා යතුරුපුවරුවේ ව්‍යාංජනාක්ෂරවලට පසුව දමිළ කොම්බුව යතුරු ලියනය කර තිබූ බව දැක ගත හැකි විය. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික දමිළ භාෂා යතුරුපුවරුව (Renganathan) අනුගමනය කරන ලද මුලික රීතිය වුයේ, දමිළ ආදාන අනුක්‍රමය දමිළ භාෂාව අතින් ලියන ආකාරය මත පදනම්ව තිබිය යුතු බවයි. එනම්, මෙහිදී අදහස් කරනු ලැබුවේ කොම්බුව ව්‍යාංජනාක්ෂරයට පෙර යතුරු ලියනය කළ යුතු බවත්, එබැවින් දමිළ ආදාන අනුක්‍රමය ඉන්දියාවේ භාවිතා වන දමිළ භාෂා යතුරුපුවරු ආදාන අනුක්‍රමයට වඩා මූලික වශයෙන් වෙනස් වනු ඇති බවත්ය. එබැවින් සාම්ප්‍රදායික Renganathan යතුරුපුවරුව මත පදනම්ව ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකා දමිළ භාෂා යතුරුපුවරුව ප්‍රමිතිගත කරන ලෙස ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව ඉල්ලා සිටියේය.ඒ අනුව මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ දමිළ භාෂා යතුරුපුවරුව ප්‍රමිතිගත කරමින් SLS 1326: 2008 බිහි විය.

වෙනත් ජයග්‍රහණ

තවද, යුනිකෝඩ් හි සිංහල ඉලක්කම් කේතනය කිරීම, අක්ෂර පරිවර්තන ප්‍රමිතින් සහ මෙවලම් සංවර්ධනය කිරීම, වෙනත් යුනිකේත අකුරු සංවර්ධනය සහ යුනිකේත අකුරු සෑදීමේ වැඩමුළු පැවැත්වීම වැනි වෙනත් බොහෝ මුල පිරීම් සඳහා දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම නායකත්වය ලබා දුන්නේය.

සිංහල ඉලක්කම් ප්‍රමිතිකරණය හර්ෂ විජයවර්ධන මහතා විසින් මුලිකත්වය ගෙන සිදු කරන ලද අතර, එය SLS 1134 හි තුන්වන සංශෝධනය නිකුත් කිරීමට හේතු විය. දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම විසින් අවසන් වරට, Optical Character Recognition (OCR), Speech to Text සහ Text to Speech යනාදී
මෙවලම් ගොඩනැගීමේ ක්‍රියාවලියේ යෙදී සිටියේය. තවද මෙමගින් ආරම්භයේ සිටම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අවශ්‍ය වන සිංහල සහ දෙමළ වචන ඇතුලත් පාරිභාෂික ශබ්ද කෝෂ නිර්මාණය කිරීමට ද සම්බන්ධ විය. 2009 දී ජාත්‍යන්තරකරණය වූ වසම් නාම (IDN) සිංහලෙන් සහ දෙමළෙන්, රෝම නොවන අක්ෂරවලින් දියත් කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්විය.

ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද කටයුතු

1990 දශකයේ මැද භාගයේදී CINTEC මඟින් යුනිකේත ප්‍රස්ථාරවල සිංහල අකුරු සංකේතනය කිරීමට පියවර ගත් නමුත්, ශ්‍රී ලංකාව 2008 වන තෙක්ම ISO 10646 Working Group 2 (SC2/WG2) හි ඡන්දය ලබා නොදෙන සාමාජිකයෙකු ලෙස රැඳී සිටියේය. හර්ෂ විජයවර්ධන මහතා විසින් 2010, 2012, සහ 2014 වසර වල WG2 හි ශ්‍රී ලංකාව නියෝජනය කල අතර, මෙය වසරකට දෙවතාවක් විවිධ රටවල පවත්වනු ලැබේ.

2008 දී, ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ නොකරන තත්ත්වයෙන් ඡන්දය ප්‍රකාශ කරන සාමාජික රටක් ලෙස වෙනස් කරන ලද අතර, ISO10646/SC2WG2, 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්විණි. එතැන් සිට, දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම අවසන් වරට ක්‍රියාකාරීව කටයුතු කරන තුරුම, ISO 10646 ප්‍රමිතියේ ප්‍රධාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාව සහභාගී විය.

දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමෙහි අනාගතය සහ එහි වැදගත්ක

දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමෙහි තෙවසරක දිගු විරාමය තුළ, සිංහල යුනිකේත ප්‍රස්ථාරය එහි අක්ෂර කට්ටලයට නව එකතු කිරීම් සිදු කරන ලදී. Unicode Consortium විසින් චන්ද්‍රබිංදුව සිංහල යුනිකේත වෙත එක් කරන ලද නමුත් එය සිංහල හෝ සංස්කෘත අක්ෂර පරිවර්තන පෙළෙහි භාවිතා නොවේ. පසුගිය ශතවර්ෂය ආරම්භයේ දී ලියන ලද දුර්ලභ ග්‍රන්ථ දෙකක් මත පදනම්ව ඉන්දියානු විද්වතෙකු මඟින් සිංහල කේත ප්‍රස්ථාරයේ, චන්ද්‍රබිංදුව කේතනය කිරීමට යෝජනා කරනු ලැබුවේ, සිංහල භාෂාවෙන් සංස්කෘත අක්ෂර පරිවර්තනය භාවිතා කිරීමටය. බොහෝ ශ්‍රී ලාංකික විද්වතුන් එම එක් කිරීමට විරුද්ධ වුවද, ISO/SC2/WG2 ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාව සහභාගී නොවුවද , චන්ද්‍රබිංදුව ඇතුළත් කිරීමට ඡන්දය දුන්නේය. දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම දිගුකාලයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, යුනිකේත කේතීකරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සක්‍රිය දායකත්වයක් ලබා නොදෙයි.

ශ්‍රී ලංකාවේ සිංහල සහ දමිළ යුනිකේත සංවර්ධනයට නායකත්වය දුන් බොහෝ පුරෝගාමීන්ට ICTA යටතේ දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම නැවත සකස් කිරීමේ අවශ්‍යතාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම නව සාමාජිකයින් සමූහයක් සමඟ නැවත සකස් කරන ලදී. එයට සිංහල යුනිකේත සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන පුරෝගාමීන් සහ විද්වතුන් ඇතුළත් වෙයි. මෙමඟින්, සිංහල සහ දමිළ යුනිකේත සංවර්ධනයේ නව යුගයක් ඇති කිරීම මෙන්ම, සිංහල සහ දමිළ භාෂාවෙන් ඇති තවත් බොහෝ ගැටලු විසඳීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ගැටළු අධීක්‍ෂණය කිරීමටත් අපේක්ෂා කරයි.